වසර 20කට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ඊශ්‍රායලය සහ ඉතාලිය අතර ප්‍රධාන ආරක්ෂක සහයෝගිතා ගිවිසුම (Military Cooperation Agreement) අලුත් නොකිරීමට ඉතාලි රජය නිල වශයෙන් තීරණය කර තිබේ. අගමැතිනි ජෝජියා මෙලෝනි විසින් ගනු ලැබූ මෙම හදිසි සහ අනපේක්ෂිත තීරණය ජාත්‍යන්තර දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව ඇති අතර, 2005 වසරේ සිට සෑම වසර පහකට වරක් ස්වයංක්‍රීයව අලුත් වූ මෙම ගිවිසුම මෙලෙස නතර වූ පළමු අවස්ථාව මෙයයි.
ඉතාලිය මෙම තීරණය ගැනීමට බලපෑ ප්‍රධාන හේතු කිහිපයක් පවතී. පසුගිය සතියේ ලෙබනනයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටි ඉතාලි සෙබළුන් ඉලක්ක කර ඊශ්‍රායල හමුදාව විසින් අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ල කිරීම මෙයට ආසන්නතම හේතුව වී තිබේ. මීට අමතරව, හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින යුදමය ආතතිය හමුවේ සිය සැපයුම් මාර්ග ආරක්ෂා කර ගැනීමට සහ කලාපීය ගැටුම් සමනය කිරීමට මැදිහත් වීම ඉතාලියේ අරමුණ වී ඇත. එමෙන්ම ගාසා සහ ලෙබනන මානුෂීය අර්බුදය හමුවේ ඊශ්‍රායලය සමඟ පවතින හමුදා සබඳතා නතර කරන ලෙස ඉතාලි ජනතාවගෙන් සහ විපක්ෂයෙන් එල්ල වූ දැඩි බලපෑම ද මෙම තීරණයට හේතු විය.
මෙම ගිවිසුම අත්හිටුවීමත් සමඟ දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ ඒකාබද්ධ යුද පුහුණු වැඩසටහන්, ආරක්ෂක තාක්ෂණික පර්යේෂණ සහ යුද උපකරණ හුවමාරු කර ගැනීමේ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නතර වේ. සාමාන්‍යයෙන් ඊශ්‍රායලයේ සමීප මිතුරෙකු ලෙස සැලකෙන මෙලෝනි රජය ගනු ලැබූ මෙම දැඩි රාජ්‍යතාන්ත්‍රික පියවර, මැදපෙරදිග අර්බුදය හමුවේ යුරෝපා රටවල ස්ථාවරය වෙනස් වෙමින් පවතින බවට පැහැදිලි සලකුණක් බව විචාරකයෝ පවසති.
තොරතුරු උපුටා ගැනීම: China pulse , Reuters ඇසුරින්














