මේ වසරේ දෙවන කාර්තුවට නොරෝච්චෝල ලක්විජය බලාගාරයට ගල් අඟුරු රැගෙන එන ප්‍රථම නෞකාව වන ‘IVS TRADER’ නෞකාව පුත්තලමට ළඟා වී තිබේ. බලශක්ති, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (04) උදෑසන ගල් අඟුරු තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ලක්විජය බලාගාරයට පැමිණි අතර, අදාළ තත්ත්ව කටයුතු කඩිනමින් අවසන් කර අද පස්වරුවේදී ගල් අඟුරු ගොඩබෑම ආරම්භ කිරීමට නියමිතය.
ඉදිරි සුළු දින ගණනකට පමණක් බලාගාරය සතුව ගල් අඟුරු පවතින බව අමාත්‍යවරයා මෙහිදී නිරීක්ෂණය කළ අතර, මෙම දුෂ්කර අවස්ථාවේදී රටට ආදරය කරමින් තම රාජකාරී කටයුතු ඉටු කරන ලක්විජය බලාගාරයේ මාණ්ඩලික සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට සිය ප්‍රණාමය පුද කිරීමටද හෙතෙම කටයුතු කළේය.














