ජාඇල පොලිස් වසමට අයත් ඔතේකැලේ වගුරු බිම් ප්‍රදේශයේ ඉතා සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් පෙරීමේ ජාවාරමක් වටලා, නීති විරෝධී මත්පැන් ලීටර් 225ක් (මත්පැන් බෝතල් 300ක්) සමඟ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ. මෙම සාර්ථක වැටලීම සිදුකර ඇත්තේ ඊයේ (20) දින අලුයම කාලයේදීය.
ලැබුණු රහසිගත තොරතුරකට අනුව උපායදූතයන් යොදවා වගුරු බිම වටලා සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට පත් සැකකරු 36 හැවිරිදි වියේ පසුවන ඒකල, ජාඇල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව පොලිසිය හඳුනාගෙන ඇත. දුෂ්කර වගුරු බිම් ප්‍රදේශයක ආරක්ෂක අංශවල ඇසට වැලිගසමින් දීර්ඝ කාලයක සිට මොහු මෙම ජාවාරම මෙහෙයවා ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පැන් තොගය ඉදිරි නීතිමය පියවර සඳහා ජාඇල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
















