යාපනය ප්‍රදේශයේ පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වන මගීන් සහ රියදුරන් වෙනුවෙන් තාවකාලික සෙවනක් ඉදිකිරීමට නල්ලූර් සභාවේ සාමාජිකයින් පියවර ගෙන තිබේ.
යාපනය තිරුනෙල්වේලි සංඥා පුවරු මංසන්ධියේ (Signal Junction) මෙම තාවකාලික සෙවන ස්ථාපනය කර ඇත. මංසන්ධියේ රතු සංඥා වැටී ඇති අවස්ථාවලදී දැඩි අව් රශ්මියට නිරාවරණය වෙමින් රැඳී සිටින මෝටර් සයිකල් කරුවන්ට සහ පාපැදි කරුවන්ට සහනයක් සැලසීම මෙහි ප්‍රධාන අරමුණයි.
ගෝනි රෙදි භාවිතයෙන් නිර්මාණය කරන ලද මෙම සරල ආවරණය ඊයේ රාත්‍රියේ ඉදිකර ඇති අතර, අද දිනයේ සංචාරකයින් විශාල පිරිසක් එහි සෙවන ලබන අයුරු දැකගත හැකි විය.
යාපනය ප්‍රදේශයේ පවතින දැඩි පෑයීම සහ උණුසුම හමුවේ ජනතාවට සහනයක් වීමට ගත් මෙම කාලෝචිත පියවර මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ ද දැඩි පැසසුමට ලක්ව තිබේ.














