ජාතික ජන බලවේගය නියෝජනය කරන උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව 2022 වසරේදී ජංගම දුරකථනයක් සහ එළුවකු සොරකම් කිරීමේ චෝදනා මත යාපනය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් තිබූ බවත්, නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සාක්ෂිකරුවන් ඉදිරිපත් නොකර පොලිසිය මඟින් එම නඩුව ඉවත් කරගෙන ඇති බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කර තිබේ.
අවශ්‍ය නම් අදාළ නඩු අංක සහ අධිකරණ ලේඛන පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවේ ඉදිරිපත් කර මෙය සනාථ කිරීමට තමන් සූදානම් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ අතර, මෙම චෝදනාවට සභාවේ සිටි මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික චරිත ඝාතනය වන ආකාරයෙන් අසත්‍ය කරුණු ප්‍රකාශ නොකරන ලෙසත්, සභාව නොමඟ යැවීම සම්බන්ධයෙන් වහාම සමාව ගත යුතු බවත් අනෙකුත් මන්ත්‍රීවරුන් පෙන්වා දුන් අතර, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ සිදු කිරීම නුසුදුසු බව ද ඔවුහු අවධාරଣ කළහ.














