27 April 2024
#දේශීය

අභාවප්‍රාප්ත අමරකීර්තිගේ හිස් වු මන්ත්‍රී පුටුව ජගත්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරළ මහතාගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රීධූරයට ඇස්. ජගත් සමරවික්‍රම මහතා පත් වෙයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අමරකීර්ති අතුකොරළ මහතාගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රීධූරය සඳහා ඇස්. ජගත් සමරවික්‍රම මහතා අද (19) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පසුගියදා ඇති වූ ගැටුම්කාරී තත්ත්වය තුළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අමරකීර්ති අතුකොරළ මහතා ඝාතනය ලක්වූ අතර මේ නිසා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක පුරප්පාඩුවක් ඇති විය. මෙම පුරප්පාඩුව සඳහා ඇස්. ජගත් සමරවික්‍රම මහතාගේ නම සඳහන් කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය (17) වැනි දා මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලදි. මේ අනුව මෙසේ අද දින ඇස්. ජගත් සමරවික්‍රම මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

ජගත් සමරවික්‍රම මහතා මොනරාගල කවුඩාව ජාතික පාසලේ සහ සිරිපුර මධ්‍යමහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු 2008 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. එසේම ඔහු දිඹුලාගල වැලිකන්ද දෙගොඩපත්තුව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස වර්තමානයේ කටයුතු කරයි. පසුගිය මහ මැතිවරණයේදී හෙතෙම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පස් වැනියා ලෙස මනාප ලබාගෙන තිබුණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *