නාසා ආයතනයේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් ප්ලූටෝ ග්‍රහලෝකය සහ සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් මත මෙතෙක් හඳුනාගෙන නොමැති අද්භූත රසායනික සලකුණක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව තිබේ. ‘Astronomy & Astrophysics’ සඟරාවේ පළ වීමට නියමිත මෙම පර්යේෂණ වාර්තාවට අනුව, මෙය පවත්නා විද්‍යාත්මක දත්ත ගබඩාවල ඇති කිසිදු රසායනික ද්‍රව්‍යයකට සමාන නොවේ.
විද්‍යාඥයන් විසින් ප්ලූටෝ සහ ටයිටන් යන ලෝක දෙකෙන්ම මයික්‍රොමීටර 5.113ක තරංග ආයාමයකින් යුත් අසාමාන්‍ය ආලෝක අවශෝෂණ කලාපයක් (Absorption band) නිරීක්ෂණය කර ඇත. වර්ණාවලි වික්ෂේපණය (Spectroscopy) තාක්ෂණය ඔස්සේ ලබාගත් මෙම දත්ත, ජේම්ස් වෙබ් දුරේක්ෂයේ මෙවලම් දෙකකින්ම සනාථ කර ඇති නිසා මෙය උපකරණ දෝෂයක් නොවන බව තහවුරු වී තිබේ.
පර්යේෂකයන් විසින් මෙම සලකුණ ඇසිටිලීන්, බෙන්සීන් සහ කෙටීන් වැනි දන්නා කාබනික සංයෝග සමඟ සංසන්දනය කර බැලුවද කිසිවක් එයට නිවැරදිව ගැලපී නැත. මෙය රසායන විද්‍යාවෙන් හඳුනා නොගත් නව ද්‍රව්‍යයක් විය හැකි බවට හෝ අධික ශීතල තත්ත්වයන් යටතේ රසායනික ද්‍රව්‍ය අසාමාන්‍ය ලෙස හැසිරීම නිසා ඇති වූවක් විය හැකි බවට විද්‍යාඥයෝ සැක පළ කරති.
ප්ලූටෝ සහ ටයිටන් එකිනෙකට වෙනස් පරිසරයන් සහිත ලෝක දෙකකි. ටයිටන් සතුව නයිට්‍රජන් සහ මෙතේන් බහුල ඝන වායුගෝලයක් සහ ද්‍රව මෙතේන් විල් පවතින අතර, ප්ලූටෝ සතුව පවතින්නේ අතිශය සිහින් වායුගෝලයක් සහ අයිස්වලින් වැසුණු මතුපිටකි. එසේ වුවද, සූර්යාලෝකය සහ කොස්මික් කිරණ හේතුවෙන් සිදුවන සංකීර්ණ කාබනික රසායනික ක්‍රියාවලීන් මෙම සමාන සලකුණට හේතු විය හැකි බව විශ්වාස කෙරේ. මෙම අභිරහස විසඳීම සඳහා අනාගතයේදී රසායනාගාර පරීක්ෂණ සහ නාසා ආයතනයේ ‘ඩ්‍රැගන්ෆ්ලයි’ (Dragonfly) මෙහෙයුම හරහා වැඩිදුර දත්ත ලබා ගැනීමට විද්‍යාඥයන් අපේක්ෂා කරයි.
















