පානදුර, ගොරකාන ප්‍රදේශයේ කුලී නිවෙසක පදිංචිව සිටි 26 හැවිරිදි නීති සිසුවියකගේ මළ සිරුර කුණුවූ තත්ත්වයෙන් පසුගිය ඉරිදා සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ මාන මරක්කලාගේ නඳුනි සහශ්‍රි කුරේ නම් තරුණියයි. නීති පාඨමාලාවක් හදාරා තිබූ ඇය සුන්දර රූ සපුවකින් හෙබි තරුණියක වූ අතර, මීට පෙර ගුවන් නියමුවකු සමඟ විවාහ ගිවිසගෙන සිටි නමුත් පසුව එම ගිවිසුම අවලංගු කර තිබිණි. සුනඛයන්ට දැඩි ලෙස ඇලුම් කළ ඇය, අසල්වැසියන්ගේ විරෝධතා හමුවේ නිවෙස හැර ගොස් සුනඛයන් රැසක් ද සමඟ ගොරකාන ප්‍රදේශයේ කුලී කාමරයක පදිංචිව සිටියාය.
පසුව ඇය රැකියාවක් සොයා ගත්තාය. ඒ පානදුර පැත්තේ හෝටලයකය.එහිදී ඇයට මුලුතැන්ගෙයි සහායකයකු වන ලක්මාල් සහ කෝකියකු වන දෙනුවන් යන දෙදෙනා හඳුනා ගැනීමට ලැබුණු අතර, ලක්මාල් සමඟ ඇය ‘ලිවින් ටු ගෙදර්’ ක්‍රමයට එකම කාමරයක ජීවත් විය. ලක්මාල්ගේ පියා මෙම සම්බන්ධයට දැඩි විරුද්ධත්වය පළ කිරීම නිසා ඇය ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබූ අතර, සමථ මණ්ඩල තීරණයෙන් පසු ලක්මාල් ඇයගේ කාමරයටම පදිංචියට පැමිණියේය. මේ අතර දෙනුවන් ද ඇයගේ කාමරයට නිතර පැමිණෙමින් ඇයගේ වියදම් සඳහා මසකට රුපියල් 35,000ක් ලබා දී ඇත. ලක්මාල් දෙනුවන්ගේ පැමිණීම ගැන ගැටලුවක් මතු නොකළේ මුදල් ලැබෙන නිසා සහ ඇය තමන්ගේ බිරිඳ නොවන නිසාය.
සිකුරාදා සිට ඇයගේ නිවෙස වසා තිබූ අතර, ඉරිදා ඇයගේ මව සහ දෙනුවන් කාමරය අසලට පැමිණි විට දැඩි දුර්ගන්ධයක් සහ නිල මැස්සන් දැක සැක මත දොර කඩා ඇතුළු වී ඇත. එහිදී මෙට්ටයක් මත කුණුවෙමින් තිබූ නඳුනිගේ මළ සිරුර හමුවූ අතර, ඇයගේ ගෙල සහ අතක් තියුණු ආයුධයකින් කපා දමා තිබිණි. ඝාතනය සඳහා යොදාගත් පිහිය ද අසල වැටී තිබූ අතර, ලක්මාල්ගේ ඇඳුම් සහ ජංගම දුරකථනය කාමරයේ තිබී හමුවීමෙන් ඔහු ඇයව ඝාතනය කර පලා ගොස් ඇති බව තහවුරු විය. මියගිය තරුණිය තමන් රවටා බැංකු ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ අටක පමණ මුදලක් ලබාගෙන ඇති බව දෙනුවන් පොලිසියට ප්‍රකාශ කර ඇත. පලා ගිය සැකකාර ලක්මාල් සොයා පානදුර උතුර පොලිසිය මෙහෙයුම් දියත් කර ඇති අතර, නඳුනි ආදරයෙන් රැකබලා ගත් සුනඛයන් සහ පැටවුන් පිරිස දෙනුවන් විසින් රැගෙන ගොස් ඇත.















