2026 ජූනි 14 වැනිදා ඇමරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේදී ජපානය සහ නෙදර්ලන්තය අතර පැවැති උණුසුම් පාපන්දු තරගය 2-2ක් ලෙස සම වෙමින් අවසන් වුවද, තරගයේ ප්‍රතිඵලයට වඩා වැඩි අවධානයක් දිනා ගැනීමට ජපන් පාපන්දු ලෝලීන් සමත් විය. තරගය අවසානයේ බොහෝ ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණයෙන් පිටව යමින් සිටියදී, ජපන් ජාතික ආධාරකරුවන් සිය ගණනක් ක්‍රීඩාංගණයේම නතර වී තමන් සිටි ආසන සහ ඒ අවට ඇති කුණු කසළ ඉතාමත් පරිස්සමින් එකතු කර පිරිසිදු කිරීමේ නිරත විය.මෙම අපූර්ව විනයගරුක හැසිරීම පිටුපස ඇත්තේ ජපානයේ දරුවන්ට කුඩා කල සිටම කියා දෙන “සෞජි” (Souji – 掃除) නමැති උදාර සංස්කෘතික සම්ප්‍රදායයි. ජපානයේ පාසල්වල පන්ති කාමර සහ පොදු ස්ථාන පිරිසිදු කිරීමට වෙනම සේවකයන් නොමැති අතර, එම කටයුතු සිදු කරනු ලබන්නේ දරුවන් විසින්මයි. එම පුරුද්ද ඔවුන්ගේ ජීවිතයේ කොටසක් බවට පත්ව ඇති නිසා, තමන් ගැවසෙන ඕනෑම පොදු ස්ථානයක් පිරිසිදුව තැබීම ජපන් වැසියන්ගේ සිරිතක් වී තිබේ.
ජපන් ක්‍රීඩකයින්ද තරගයෙන් පසු තම කණ්ඩායමේ ඇඳුම් මාරු කරන කාමරය (Locker room) අඟලක් නෑර පිරිසිදු කර, සත්කාරක රටට ස්තූති කරමින් ලියූ ලිපි සහ කඩදාසියෙන් නිර්මාණය කළ “ඔරිගාමි කොක්කු” (Origami cranes) එහි තබා යාම අමතක නොකරයි. ජපානය ජයග්‍රහණය කළත් හෝ පරාජය වුවත් මෙම චාරිත්‍රය ඔවුන් අඛණ්ඩව ඉටු කිරීම ලෝකයේම පැසසුමට ලක්ව ඇත.
මෙම දර්ශනය දැක මවිතයට පත් වූ ඇමරිකානු පාපන්දු (NFL) ක්ෂේත්‍රයේ සුපිරි තරුවක් වන ජේමිස් වින්ස්ටන් (Jameis Winston), වහාම ජපාන කණ්ඩායමේ නිල ජර්සියක් ඇඳගෙන එම පිරිසිදු කිරීමේ කටයුතුවලට එක් විය. ඔහුගේ මෙම ක්‍රියාව ක්‍රීඩාංගණයේ සිටි සැමගේ හදවත් දිනා ගැනීමට සමත් වූ අතර, ජපන් ජාතිකයන්ගේ මෙම “විනය සහ ගරුත්වය” (Respect and Discipline) පිළිබඳ පණිවිඩය මිලියන ගණන් ක්‍රීඩා ලෝලීන්ට ලබා දුන් වටිනාම ආදර්ශය විය.
1998 ප්‍රංශ ලෝක කුසලානයේ සිට ජපන් වැසියන් ලෝකයට හඳුන්වා දුන් මෙම අගනා ආදර්ශය, ක්‍රීඩාව සහ මානුෂීය ගුණාංග එකිනෙක බැඳී පවතින අයුරු මැනවින් කියාපායි.
















