පසුගිය දශකය පුරා ජපානය සිය පශ්චාත් යුධ සාමවාදී ප්‍රතිපත්තියෙන් බැහැර වෙමින්, ලොව පවතින දැඩිම අවි අපනයන සීමාවන් ලිහිල් කිරීමට ක්‍රමයෙන් පියවර ගෙන තිබේ. මෙහි ආරම්භක සන්ධිස්ථානයක් ලෙස 2014 වසරේදී හිටපු අගමැති ෂින්සෝ අබේ විසින් 1976 සිට පැවති අවි අපනයන තහනම ඉවත් කරමින් මානුෂීය කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාවය වෙනුවෙන් අවි හුවමාරු කරගැනීමට අවසර ලබා දෙන ලදී. ඉන් අනතුරුව 2016 වසරේදී දකුණු චීන මුහුදේ නිරීක්ෂණ කටයුතු සඳහා පිලිපීනයට TC-90 පුහුණු ගුවන් යානා ලබා දීම හරහා නීති වෙනස් කිරීමෙන් පසු පළමු ප්‍රධාන යුධ උපකරණ හුවමාරුව සිදු කිරීමට ජපානය සමත් විය.
කෙසේ වෙතත් මෙම ගමනේදී ජපානයට යම් පසුබෑම්වලට ද මුහුණ දීමට සිදුවූ අතර, 2016 වසරේදී ඔස්ට්‍රේලියාවට සබ්මැරීන් සැපයීම සඳහා වූ ඩොලර් බිලියන 40ක ටෙන්ඩරය ජපානයට අහිමි වූයේ ඔස්ට්‍රේලියාව ඒ වෙනුවට ප්‍රංශ සැලසුමක් තෝරා ගැනීම හේතුවෙනි. නමුත් 2020 වසරේදී මිත්සුබිෂි ඉලෙක්ට්‍රික් (Mitsubishi Electric) සමාගම පිලිපීනයට ගුවන් නිරීක්ෂණ රේඩාර් පද්ධති ලබා දීමත් සමඟ, විදේශයකට අලුතින් නිෂ්පාදනය කළ ආරක්ෂක උපකරණ විකුණූ පළමු ජපන් සමාගම බවට පත්වෙමින් ජපානය සිය අපනයන අරමුණු ශක්තිමත් කර ගත්තේය. ගෝලීය වශයෙන් පවතින ආරක්ෂක අභියෝග සහ ඉරාන යුධ වාතාවරණය හමුවේ ජපානය සිය ආරක්ෂක ප්‍රතිපත්තීන් මෙලෙස කාලීනව වෙනස් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.














