වසර සිය ගණනාවක් පුරා ජානමය වෙනස්කම්වලට ලක් නොවූ, ස්වභාවික ගුණාංග එලෙසම පවතින ධාන්‍ය වර්ග “පැරණි ධාන්‍ය” (Ancient Grains) ලෙස හැඳින්වේ. වර්තමානයේ ලොව පුරා මේවා සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත්තේ නවීන ධාන්‍ය වර්ගවලට වඩා මේවායේ පෝෂණ ගුණය ඉහළ බවට පවතින මතය හේතුවෙනි. නමුත් විද්‍යාඥයන් පවසන්නේ මෙහි සත්‍යය පෙනෙන තරම් සරල නොවන බවයි.
නවීන තිරිඟු වැනි භෝග මිනිසා විසින් කාලාන්තරයක් තිස්සේ විවිධ අභිජනන ක්‍රම මඟින් වෙනස් කර ඇති අතර, පැරණි ධාන්‍ය එලෙස වෙනස් වී නොමැත. මේවායේ සෞඛ්‍යමය වාසි පිළිබඳව විවිධ මත ඉදිරිපත් වුවද, ප්‍රධානතම කරුණ වන්නේ ධාන්‍ය වර්ගය කුමක් වුවත් එය සම්පූර්ණ ධාන්‍යයක් (Wholegrain) ලෙස ආහාරයට ගැනීමයි. සහල්, තිරිඟු, ඕට්ස් සහ බඩඉරිඟු වැනි ධාන්‍ය වර්ග අපගේ දෛනික ආහාර වේලෙහි තන්තු (Fibre) සහ කාබෝහයිඩ්‍රේට් අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලනු ලබයි.
පැරණි ධාන්‍යවල යම් පෝෂණ වාසි පැවතිය හැකි වුවද, ඕනෑම ධාන්‍ය වර්ගයක් පිරිපහදු කිරීමකින් තොරව (පොත්ත සහිතව) ආහාරයට ගැනීම ශරීරයට වඩාත් හිතකර බව පෝෂණවේදීන්ගේ අදහසයි.














