ජපාන රජය විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව (JDS) වැඩසටහන වෙනුවෙන් ජපන් යෙන් මිලියන 282ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 591ක) ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබා දී ඇත. මෙම වැඩසටහන යටතේ පොරොන්දු සහගත රජයේ නිලධාරීන් 15 දෙනෙකුට ලබන වසරේ (2027) සිට ජපානයේ විශ්වවිද්‍යාලවල වසර දෙකක පශ්චාත් උපාධි (මාස්ටර්ස්) හැදෑරීම සඳහා අවස්ථාව හිමිවේ.
මෙම නිලධාරීන් රාජ්‍ය ප්‍රතිපත්ති, ජාත්‍යන්තර සබඳතා, ජාත්‍යන්තර සංවර්ධන, සාර්ව ආර්ථික විද්‍යාව, රාජ්‍ය මූල්‍ය සහ ආයෝජන කළමනාකරණය, කර්මාන්ත සංවර්ධන ප්‍රතිපත්ති සහ ආයෝජන ප්‍රවර්ධනය යන ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම ලබා ගැනීමට නියමිතය. ජපාන තානාපති අකියෝ ඉසොමාටා සහ මහා භාණ්ඩාගාරයේ සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඊයේ (17) මෙම ප්‍රදාන ආධාරයට අදාළ ගිවිසුම් අත්සන් තැබීම සිදු විය. 2010 වසරේ සිට ක්‍රියාත්මක මෙම JDS වැඩසටහන හරහා මෙරට රාජ්‍ය නිලධාරීන් 254 දෙනෙකු මේ වන විට ප්‍රතිලාභ ලබා ඇත.













