ජපාන අගමැතිනිය ලෙස පසුගිය ඔක්තෝබර් මාසයේදී රාජ්‍ය නායකත්වයට පත්වීමෙන් පසු සනායි ටකායිචි (Sanae Takaichi) මහත්මිය ඉන්දියාවේ සිදු කරන ප්‍රථම නිල සංචාරය ලබන ජූලි මස 1 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජූලි මස 3 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සුවිශේෂී සංචාරයේ ද්විපාර්ශ්වික සාකච්ඡා ඊසානදිග ඉන්දියාවේ පිහිටි ගුවහාටි (Guwahati) නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත බව ඉන්ඩියන් එක්ස්ප්‍රස් (Indian Express) පුවත් සේවය වාර්තා කර තිබේ. අදාළ කලාපයේ සංවර්ධන ව්‍යාපෘති රැසකට ජපානය සෘජුවම දායකත්වය ලබා දීම හේතුවෙන් මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුව සඳහා ගුවහාටි නගරය තෝරාගෙන ඇත.
මෙම සංචාරය අතරතුරදී ජපාන අගමැතිනිය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිත අතර, දෙරට අතර වෙළෙඳාම, ආරක්ෂක සහ ආයෝජන ක්ෂේත්‍ර ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී ප්‍රමුඛව සාකච්ඡා කිරීමට නියමිතය. ඇය ධුරයට පත්වූ මාස 8ක කාලය තුළ අවස්ථා කිහිපයකදීම ඉන්දීය අගමැතිවරයා මුණගැසී ඇති අතර, පසුගිය සතියේ ප්‍රංශයේ පැවැති රාජ්‍ය නායක සමුළුව අතරතුරදී ද ඔවුන් දෙදෙනා විශේෂ සාකච්ඡාවක නිරත විය.
















