ජපාන අග්‍රාමාත්‍ය සනායි ටකයිචි මහත්මිය සිය නිල සංචාරයක් සඳහා වියට්නාමයේ හැනෝයි නුවරට පැමිණ තිබේ. ඇය මෙම සංචාරයේදී වියට්නාම නායක ටෝ ලෑම් (To Lam) මහතා හමුවී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
මෑත කාලීනව වියට්නාමය තුළ සිදුකෙරෙන ජපාන ආයෝජනවල කැපී පෙනෙන පසුබෑමක් දක්නට ලැබෙන පසුබිමක, මෙම සංචාරය දෙරට අතර ආර්ථික සහ උපායමාර්ගික සබඳතා යළි පණ ගැන්වීම සඳහා වැදගත් වන බව විචාරකයෝ පෙන්වා දෙති. 2023 වසරේදී ස්ථාපිත කරන ලද “සමස්ත උපායමාර්ගික හවුල්කාරිත්වය” (Comprehensive Strategic Partnership) තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරේ.
බලශක්ති, තාක්ෂණික ක්ෂේත්‍ර, අත්‍යවශ්‍ය ඛනිජ සම්පත් සහ කලාපීය ස්ථාවරත්වය පිළිබඳව දෙපාර්ශ්වය අතර විශේෂ අවධානයක් යොමු වනු ඇති බව ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේය.














