ශ්‍රී ලංකාවේ උතුරු සහ නැඟෙනහිර පළාත්වල ක්‍රියාත්මක කෙරෙන බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය ක්‍රියාදාමයට සහය වීම සඳහා රුපියල් මිලියන 400ක (එක්සත් ජනපද ඩොලර් 1,343,202) ආධාරයක් ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ. බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්‍යාපෘති සඳහා වන ආධාර ප්‍රදාන (GGP) යෝජනා ක්‍රමය යටතේ මෙම මූල්‍ය ආධාරය හිමි වන අතර, ‘Mines Advisory Group’ (MAG), ‘The HALO Trust’ සහ ‘Delvon Assistance for Social Harmony’ (DASH) යන රාජ්‍ය නොවන සංවිධාන තුන හරහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
මෙම ව්‍යාපෘතියට අදාළ ගිවිසුම සඳහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියො ඉසොමතා මහතා ඇතුළු අදාළ සංවිධානවල ප්‍රධානීන් පෙරේදා (27) කොළඹ පිහිටි ජපන් තානාපති කාර්යාලයේදී අත්සන් තබන ලදී.
මෙම නව ව්‍යාපෘතිය යටතේ උතුරු සහ නැඟෙනහිර පළාත්වල වර්ග මීටර් 400,000ක පමණ භූමි ප්‍රමාණයක් බිම් බෝම්බවලින් නිදහස් කිරීමට අපේක්ෂා කෙරේ. මේ හරහා යුද්ධයෙන් පීඩාවට පත් වූ පුද්ගලයන් 3,100කට අධික පිරිසකට නැවත ආරක්ෂිතව තම මුල් ඉඩම් කරා යෑමට අවස්ථාව සැලසෙන අතර, අවට ප්‍රදේශවල වෙසෙන 22,000ක පමණ ජනතාවට බියෙන් සැකෙන් තොරව තම ආර්ථික කටයුතු පුළුල් කර ගැනීමට ද මින් විශාල සහයක් ලැබේ. ජපාන රජය 2002 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 49කට අධික මුළු ආධාර ප්‍රමාණයක් ලබා දෙමින් ප්‍රධාන දායකත්වයක් සපයා තිබේ.
















