ජපානය ‘නව මිලිටරිවාදයක්’ කරා ගමන් කරන බවට එල්ල වී ඇති චෝදනා ජපාන ආරක්ෂක ඇමැති ෂින්ජිරෝ කොයිසුමි මහතා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. සිංගප්පූරුවේ පැවති ෂැංග්‍රි-ලා දෙබස් සමුළුව අමතමින් ඒ මහතා ප්‍රකාශ කළේ, විනිවිදභාවයකින් තොරව චීනය සිය මිලිටරි හැකියාවන් ශීඝ්‍රයෙන් ඉහළ නංවන බවයි.චීනයේ මිලිටරි ක්‍රියාකාරකම් ජපානයට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවට ද බරපතළ කනස්සල්ලක් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. න්‍යෂ්ටික අවි සහ උපායමාර්ගික බෝම්බ හෙලන යානා විශාල ප්‍රමාණයක් චීනය සතුව තිබියදී, එවැනි අවි කිසිවක් නොමැති ජපානයට ‘නව මිලිටරිවාදී’ යන ලේබලය ඇලවීම අසාධාරණ බව කොයිසුමි මහතා පෙන්වා දුන්නේය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය නිරන්තරයෙන් ජාත්‍යන්තර නීතිවලට ගරු කරමින් නිදහස් සහ විවෘත ජාත්‍යන්තර පිළිවෙතක් පවත්වා ගැනීමට කැපවී සිටින බවද ආරක්ෂක ඇමැතිවරයා අවධාරණය කළේය. කෙසේ වෙතත්, ආසියා-පැසිෆික් කලාපීය රටවල් ජපානයේ ක්‍රියාකාරකම් පිළිබඳව විමසිලිමත් විය යුතු බවට පසුගිය මැයි මාසයේදී චීන විදේශ අමාත්‍යාංශය චෝදනා කර තිබිණි.
















