අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ භාරකාරීත්වය දැරූ 71 හැවිරිදි පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල වී ඇති ළමා අපචාර චෝදනාවක් හේතුවෙන් උන්වහන්සේව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් සහ වගකීම්වලින් අත්හිටුවීමට මල්වතු පාර්ශවයේ සංඝ සභාව තීරණය කර ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
අල් ජසීරා වාර්තාවට අනුව 2022 වසරේදී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානය තුළදී 11 හැවිරිදි දැරියකට ලිංගික අපයෝජනයක් සිදු කළ බවට හේමරතන හිමියන්ට චෝදනා එල්ල වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය විසින් පසුගිය මැයි 09 වනදා උන්වහන්සේව අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වන විට උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ඇත. මෙම අපයෝජන සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත වින්දිත දැරියගේ මවද අත්අඩංගුවට ගෙන ඇත. හේමරතන හිමියන්ට එරෙහි නීතිමය කටයුතු අවසන් වන තෙක් උන්වහන්සේගේ සේවය අත්හිටුවීමට මල්වතු පාර්ශවයේ මල්වතු පරිවෙණාධිපති කාරක සංඝ සභාව තීරණය කර ඇත. හේමරතන හිමියන් මේ වන විට ඇප මත මුදා හැර ඇති නමුත් අධිකරණය විසින් උන්වහන්සේගේ විදේශ ගමන් තහනම් කර ඇත.
වසර දහස් ගණනක් පැරණි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ප්‍රධාන භාරකාර ධුරයෙන් මෙලෙස ඉවත් කිරීම කලාතුරකින් සිදුවන විනය ක්‍රියාමාර්ගයක් බව අල් ජසීරා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ පූජ්‍ය පක්ෂය සම්බන්ධයෙන් මීට පෙරද විවිධ චෝදනා එල්ල වී තිබුණද මෙවැනි බරපතල චෝදනාවකට ලක් වූ ඉහළම තනතුරක් දැරූ හිමිවරුන් අතරින් පල්ලේගම හේමරතන හිමියන් එක් අයෙකු බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
















