ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
අමාත්‍යවරයා විසින් අනාවරණය කළ තොරතුරු අනුව මෙම ඉහළම තනතුර සඳහා අයදුම් කළ අපේක්ෂකයින් කිහිප වටයක ඇගයීම් සහ පරීක්ෂණවලට භාජනය කර ඇති අතර සුදුසුකම් සපුරා ඇති අවසන් අපේක්ෂකයින් කිහිපදෙනෙකු මේ වන විට තේරීම් ලැයිස්තුවේ ඉතිරිව සිටී. එම අවසන් අපේක්ෂකයින් අතරින් ඉතා ඉක්මනින්ම නව ප්‍රධාන විධායක නිලධාරියෙකු තෝරා ගැනීමට නියමිතය. ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා නව සභාපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් පවතින සාකච්ඡා ද සාර්ථක මට්ටමක පවතියි. මීට පෙර යෝජනා වූ නම් කිහිපයක් විවිධ හේතු මත සැලකිල්ලට ගැනීමට නොහැකි වුවද මේ වන විට ඉතා ශක්තිමත් සහ සුදුසු නව යෝජනාවක් ඉදිරිපත්ව ඇත. ඉදිරි සති එකක් හෝ දෙකක් ඇතුළත නව සභාපතිවරයා ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගම සමඟ සම්බන්ධ වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.
















