හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ජාත්‍යන්තර නාවික ගමනාගමනය අවහිර කරමින් ඉරානය “ආර්ථික ත්‍රස්තවාදී” ක්‍රියාවක නිරත වන බවට ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් චෝදනා කර සිටියි. ෆොක්ස් නිව්ස් නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, ලෝක වෙළඳපොළට බලපෑම් එල්ල වන පරිදි ඉරානය සිදුකරන මෙම ක්‍රියාවන්ට එරෙහිව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි පියවර ගැනීමට සූදානම් බවයි.
උප ජනාධිපතිවරයා මෙහිදී දැඩි අනතුරු ඇඟවීමක් කරමින් සඳහන් කළේ, ඉරානය දිගින් දිගටම මෙම ආර්ථික ත්‍රස්තවාදී පිළිවෙත අනුගමනය කරන්නේ නම්, කිසිදු ඉරාන නෞකාවකට පිටතට යාමට ඉඩ නොදීමේ ප්‍රතිපත්තියකට (No ships out policy) ඇමරිකාව අවතීර්ණ වන බවයි.
පසුගිය සති අන්තයේ ඉරානය සමඟ පැවැති සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින් වෑන්ස් මහතා පැවසුවේ, එහිදී යම් ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවූ බවයි. “දැන් තීරණය ඇත්තේ ඉරානය සතුවයි,” යනුවෙන් ප්‍රකාශ කළ ඔහු, ඇමරිකාව ඉදිරිපත් කර ඇති තීරණාත්මක කොන්දේසි පිළිගෙන ඉරානය නම්‍යශීලී විය යුතු බව අවධාරණය කළේය. මැදපෙරදිග කලාපීය බලශක්ති සැපයුම සම්බන්ධයෙන් පවතින මෙම අර්බුදය හමුවේ ඇමරිකාවේ මෙම දැඩි ස්ථාවරය ලෝක දේශපාලන කරළියේ විශේෂ අවධානයට ලක්ව තිබේ.














