ශ්‍රී ලංකාවේ BYD සහ DENZA වාහනවල බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), මෙරට රාජ්‍ය අංශයේ සේවකයින් අතර නව බලශක්ති වාහන (NEV) ප්‍රචලිත කිරීමේ අරමුණින් ලංකා බැංකුව (BOC) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (SLIC) සමඟ විශේෂ හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ.
මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන 2026 මැයි 4 වැනිදා සිට ජූලි 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ රජයේ සේවකයින්ට දැරිය හැකි මිලකට සහ පහසු මූල්‍ය පහසුකම් යටතේ විද්‍යුත් වාහන හිමිකර ගැනීමට අවස්ථාව සලසා දීමයි. මෙහිදී JKCG Auto ආයතනය මගින් හඳුන්වාදීමේ විශේෂ මිල ගණන්, නිවසේදීම වාහන ආරෝපණය කිරීමේ පහසුකම් (Home Charging) සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවා සහායක් ලබාදීමට කටයුතු කරයි.
ලංකා බැංකුව මගින් මේ සඳහා සහනදායී ලීසිං පහසුකම් සපයන අතර, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් විද්‍යුත් වාහන සඳහාම වෙන්වූ විශේෂ රක්ෂණාවරණ සහ පාරිභෝගික සහාය සේවාවන් ලබාදීමට නියමිතය. ශ්‍රී ලංකාවේ විශාලතම සේවා නියුක්තික පිරිස වන රාජ්‍ය අංශය හරහා හරිත ප්‍රවාහන සේවාවක් මෙරටට හඳුන්වා දීම තුළින් ඉන්ධන ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමටත්, බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් හැකිවනු ඇති බව JKCG Auto හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා පවසයි.
මෙම සහයෝගීතාවය හරහා මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය, මූල්‍ය සේවා සහ රක්ෂණ සහාය යන සියල්ල එකම රාමුවක් තුළට ගෙන ඒම මගින් ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතය සඳහා වඩාත් විධිමත් මාවතක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














