27 April 2024
#දේශීය

රැකියාවේ තෘප්තිමත් බව වෘත්තීය සමිති වලින් බලාපොරොත්තු වෙන්න බෑ – සෞඛ්‍ය ඇමති

රැකියාවේ තෘප්තිමත් බව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් බලාපොරොත්තු විය නොහැකි යැයිද, සාකච්ඡා සම්මුති වලින් ඇතිවන එකඟතාවන් මත රැකියාවේ ගැටලු නිරාකරණය කරගනිමින් තෘප්තිමත් සේවාවක් ඉන් ලබා දිය හැකි යැයිද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

තෘප්තිමත් සේවකයන් නිර්මාණය කිරීම තුළින් ආයතනයක් සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි බවද එවැනි ආයතනයන්හි සාර්ථකත්වය උදෙසා සේවක තෘප්තිමත්බාවය වෙනුවෙන් කටයුතු කිරීම පාලකයන්ගේ වගකීම බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය සේවාවේ ආදේශක සෞඛ්‍ය කාර්ය සහයකයින් 1390 දෙනකෙු ස්ථිර සේවයට පත්කිරීමේ උත්සව අවස්ථාවේදීය. මෙම පිරිස සංකේතවත් කරමින් 15 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (06) සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. මේ වන විට මෙරට සෞඛ්‍ය සේවාවේ ලක්ෂ එක හමාරක පමණ සෞඛ්‍ය වෘත්තිකයන් ප්‍රමාණයක් සිටින අතර මින් 22000 ට ආසන්න පිරිසක් සෞඛ්‍ය කාර්ය සහයකයින් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක සේවය කරන ආදේශක සෞඛ්‍ය කාර්ය සහයකයින් මේ අනුව අද සිට ස්ථිර සේවයට ඇතුළත් වේ. මේ සඳහා වන කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත මෙම පත්වීම් ලබා දීම සිදු විණි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යන්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් යූ.එල්.පීරිස්,නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල් සිරිමල් ලොකුගමගේ යන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *