27 April 2024
#දේශීය

යහපාලන ආණ්ඩුව රට ණය කන්දක හිර කලා -රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

පසුගිය යහපාලන ආණ්ඩුව කිසිම සංවර්ධනයක් නොකර රුපියල් බිලියන 14000ක ණය කන්දක රට හිරකර ඇති බව පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ග්‍රාමීය ආර්ථිකයත්, ගමත් ගොඩනගන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට වැඩසටහනේ මහනුවර හා සෙංකඩගල ආසනයන්හි ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ රැස්වීමකට පසුගියදා එක්වෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා “බහුතරයක් වූ මේ රටේ ජනතාව දන්නවා මේ රටේ පාලන බලය අප අතේ නොතිබෙන්න කොවිඩ් තත්ත්වයට මොකක්ද වෙන්නේ කියන කාරණය. පහුගිය කාලේ තුල විපක්ෂයේ අය බැලුවා රට හොඳට සාර්ථකව යනවා කොහොමද මේක ටික ටික හරි වට්ටන්නේ කියලා. බොර දියේ මාලු බානව වගේ ඉතා සුළු පිරිසක් උද්ඝෝෂණයක් පටන් ගත්තා. පරාක්‍රම සමුද්‍රය ලග ඉන්නෙත්, අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලඟ ඉන්නෙත් එකම කට්ටිය. මේ කට්ටිය තමා රජයේ වැඩ කඩාකප්පල් කරන්න මේ උද්ඝෝෂණ රැල්ල මෙහෙය වන්නේ. සමාජ ජාල වලත් එක එක බොරු මත ගෙනියන්නේ එකම පිරිසක්.

ඔබට මතක ඇති 2005 සිට 2015 දක්වා තිස් වසරක යුද්ධය නිම කරලා ආර්ථිකය හඳලා, රැකියා දීල,සංවර්ධනය කලා. 2015 දී මහින්ද රාජපක්ෂ මහතා කුමන්ත්‍රණකාරීව පරාජය නොකලේ නම් මේ රට අද කොතනද කියලා. ඔබට හිතාගන්න පුළුවන් ආර්ථික වර්ධන වේගය සියයට 8 ඉදලා 2 කට වැටුණා. බිලියන 7000 ක තිබුන රටේ ණය කිසිම සංවර්ධනයක් නොකර රුපියල් කබිලියන 14000 දක්වා ගෙනිච්චා, මහ බැංකුව මංකොල්ල කෑව, සමෘද්ධිය විනාශ කලා, සංස්කෘතික අරමුදල විනාශ කලා. මෙහෙම තමා වැඩ කලේ මේ රට දෙකට කරන්න හදන අය එහෙම නැතිනම් විජාතික බලවේග වෙනුවෙන් පෙනී සිටින අය. ඒ කල්ලි වලට ඉඩක් දෙන්න එපා කියලා මා සිහිපත් කරනවා. දැන් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා මුදල් ඇමතිතුමාට අමතරව රට හරියට කරන්න පුළුවන් කියලා විශ්වාසය තබන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද, සංසන්දනය කරලා බලන්න එහෙම නැහැ. යැයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අවස්ථාවට බහිරවකන්ද විහාරාධිපති හා ශ්‍රී ලංකා පොදුජන භික්ෂු පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සභාපති යටවත්තේ ධම්මානන්ද නායක හිමි ඇතුළු භික්ෂු වහන්සේලා ද ප්‍රවාහන හා මහජන ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මහනුවර මහ නගර සභාවේ හිටපු නගරාධිපති හා වත්මන් විපක්ෂ නියක සේන දිසානායක, ගඟවට කොරලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඩී.ඒ.ධර්මසේන ඇතුළු මන්ත්‍රීතුමන්ලා ද, ආයුර්වේද සංස්ථාවේ සභාපතිනි සුහලා අබේවික්‍රම මහත්මිය ඇතුළු මහනුවර හා සෙංකඩගල ආසනයන්හි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *