වත්මන් රජය කිසිදු මැතිවරණයකට මුහුණ දීමට නොහැකි තරම් දේශපාලනිකව පිරිහී ඇති බවත්, අවම වශයෙන් සමූපකාර ඡන්දයක් පවා ජයග්‍රහණය කිරීමට ඔවුන්ට ශක්තියක් නොමැති බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. පසුගියදා පැවැති ජනහමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ, වත්මන් පාලකයන් එදා මෙන්ම අදත් මැතිවරණ මගහරිමින් සිටින බවයි.
2015 යහපාලන රජයේ ප්‍රධාන කොටස්කරුවෙකු වූ අනුර කුමාර දිසානායක මහතා එදා අරලියගහ මන්දිරයට ඉදිරිපස දොරින් ගිය බවත්, එදා මෙන්ම අදත් ඔවුන් මැතිවරණ කල් දැමීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් ඔහු සඳහන් කළේය. “එදා පළාත් සභා මැතිවරණය පවත්වන්න තිබුණත් ඔවුන් එය කළේ නැහැ. අදටත් පළාත් සභා මැතිවරණයක් පවත්වලා නැහැ. 2018 වසරේදී එවකට පැවති රජය විවිධ මඩ ප්‍රහාර එල්ල කළත්, ජනතාව පොහොට්ටුවට අතිමහත් ජයග්‍රහණයක් ලබා දුන්නා. අද මැතිවරණයක් පැවැත්වුවහොත් වත්මන් රජය අන්ත පරාජයකට පත්වන බව ඔවුන් දන්නවා,” යැයි හිටපු අමාත්‍යවරයා පැවසීය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමූපකාර ඡන්ද පවා පැවැත්වීමට රජය බිය වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා, මියගිය සාමාජිකයන් ඉවත් කර ඡන්දය පවත්වන ලෙස ඉල්ලමින් අධිකරණය හමුවට යාමට පවා ඔවුන්ට සිදුව ඇති බව ප්‍රකාශ කළේය. වත්මන් රජයේ පිරිහීම කෙතරම්ද යත්, ඔවුන්ට දැන් කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට මුහුණ දීමේ හැකියාවක් නොමැති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














