ප්‍රංශය සහ ස්පාඤ්ඤය පුරා වේගයෙන් පැතිර යන දැවැන්ත ලැව්ගිනි තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් තුන්ලක්ෂයකට අධික පිරිසක් සිය නිවාස සහ සංචාරක නිකේතන අතහැර ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීමට පියවර ගෙන තිබේ. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර සහ ප්‍රංශයේ බෝර්‌ඩෝ නගරය ආසන්න ප්‍රදේශවල මෙම දරුණු ව්‍යසනය හටගෙන ඇති අතර, ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන අංශ දැඩි පරිශ්‍රමයක නිරතව සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ස්පාඤ්ඤ අභ්‍යන්තර අමාත්‍යාංශයට අනුව මැඩ්රිඩ් කලාපයෙන් සහ අවිලා පළාතෙන් හෙක්ටයාර් 23,000කට ආසන්න භූමියක් විනාශ වී පුද්ගලයන් 70,000ක් පමණ ආරක්ෂිත ප්‍රදේශ වෙත යොමු කර ඇති අතර, ප්‍රංශයේ ජිරොන්ඩ් සහ ලෑන්ඩ්ස් කලාපවලින් පුද්ගලයන් 197,000ක් ඉවත් කර තිබේ. ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එරට තුළ පමණක් හෙක්ටයාර් 98,000කට ආසන්න භූමි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බවත්, එය රටේ ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ලැව්ගිනි තත්ත්වයන්ගෙන් එකක් වන බවත්ය.
තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් යුරෝපා සංගමයේ සහාය ඉල්ලා හමුදා ප්‍රවාහන ගුවන් යානා යෙදවීමට නියෝග කර ඇති අතර, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් ප්‍රකාශ කර ඇත්තේ වත්මන් ප්‍රමුඛතාව මිනිස් ජීවිත ආරක්ෂා කිරීම බවයි. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් උද්ගතව ඇති දේශගුණික විපර්යාස සහ දැඩි නියඟය මෙම ව්‍යසනය තවදුරටත් තීව්‍ර කර ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.














