කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලේ සිට රත්නපුරය දක්වා දීර්ඝ කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනය සහ සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීමේ උපදේශන සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ සිදුකරන ලද මෙම ක්‍රියාවලිය සඳහා ලංසුකරුවන් අට දෙනෙකු අභිලාෂ ඉදිරිපත් කර තිබූ අතර, ඉන් සුදුසුකම් ලැබූ ආයතන හතරක මූල්‍ය යෝජනා ඇගයීමට ලක් කෙරිණි.
උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 356.22ක (බදු රහිත) මුදලකට M/s. Resources Development Consultants (Pvt) Ltd ආයතනය වෙත පිරිනැමීමට නියමිතය. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමත් සමඟ වසර ගණනාවක සිට සාකච්ඡාවට බඳුන් වූ කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් කටයුතු කඩිනමින් ආරම්භ වනු ඇත.












