අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ රත්නපුර අධිකරණ නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ රත්නපුර අධිකරණ සංකීර්ණයේදී පැවැත්විණි. එහිදී අධිකරණ පද්ධතිය තුළ දීර්ඝ කාලයක සිට පවතින සේවක පුරප්පාඩු සහ යටිතල පහසුකම් පිළිබඳ ගැටලු රැසක් සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ සෘජු අවධානය යොමු වූ අතර එම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ආකාරය පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කෙරිණි.
අධිකරණ පද්ධතියේ පවතින ගැටලු වසර දෙක තුනක නොව වසර පහළොවක පමණ සිට පැවත එන්නක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා වත්මන් රජය බලයට පත් වන විට අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතනවල පුරප්පාඩු හයදහසකට වඩා තිබූ බව අනාවරණය කළේය. පවතින ආර්ථික අර්බුදය හමුවේ මීට පෙර බඳවා ගැනීම් සිදු නොකළ ද මේ වන විට ඉන් පුරප්පාඩු දෙදහසකට අධික ප්‍රමාණයක් සම්පූර්ණ කිරීමට පියවර ගෙන ඇති බවත් සෙසු පුරප්පාඩු ද කඩිනමින් පිරවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව සමඟ එක්ව කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
විශේෂයෙන්ම ලඝු ලේඛක හිඟයට පිළියමක් ලෙස ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව නව තාක්ෂණික යෙදුමක් සම්පාදනය කරමින් පවතින බවත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආරම්භ කළ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ රත්නපුර අධිකරණය දක්වා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මීට අමතරව රත්නපුර අධිකරණයට අවශ්‍ය කාර්යාල උපකරණ, තාක්ෂණික මෙවලම් සහ ණය සහන මණ්ඩල කාර්යාලයක් ස්ථාපිත කිරීම වැනි ඉල්ලීම් සම්බන්ධයෙන් ද සාධනීය ප්‍රතිචාර දක්වමින් ඒ සඳහා විධිමත් ඉල්ලීම් අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙස නීතිඥ සංගමයට දැනුම් දෙන ලදී.














