රත්නපුර අධිකරණ සංකීර්ණය තුළ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධා පමුණුවන දශක ගණනාවක සිට පවතින යටිතල පහසුකම් සහ තාක්ෂණික මෙවලම්වල හිඟය හේතුවෙන් විනිසුරුවරුන්, නීතිඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද දැඩි පීඩාවකට පත්ව සිටිති. අධිකරණ කටයුතු ප්‍රමාද වීම සහ සේවා ලබාගැනීමේදී සිදුවන බාධා හේතුවෙන් ප්‍රදේශයේ නීති ක්ෂේත්‍රය තුළ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වී තිබුණේ වගකිවයුතු බලධාරීන්ගේ අවධානය මෙතෙක් යොමු නොවීම හේතුවෙනි.
මෙම අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ රත්නපුර නීතිඥ සංගමය අතර තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (14) පස්වරුවේ රත්නපුර අධිකරණ නීතිඥ පුස්තකාලයේදී පැවැත්විණි. එහිදී පවතින සේවක පුරප්පාඩු පිරවීම, නව නීතිඥ කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කිරීම සහ සාක්ෂි මෙහෙයවීම සඳහා අත්‍යවශ්‍ය වන නවීන තාක්ෂණික උපකරණ මෙන්ම වර්ණ ඡායාරූප යන්ත්‍ර ලබා ගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.
විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ණය සහන මණ්ඩල කාර්යාලයක අවශ්‍යතාවය නීතිඥවරුන් පෙන්වා දුන් අතර, ඒ සඳහා විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් කළ වහාම අවශ්‍ය පියවර ගන්නා බවට අමාත්‍යවරයා මෙහිදී සහතික විය. වෛද්‍ය ජනක සේනාරත්න මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් එක්වූ මෙම සාකච්ඡාව හරහා සබරගමුවේ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය නවීකරණයට ලක්වනු ඇති අතර, එය පොදු ජනතාවට කඩිනම් සහ ගුණාත්මක අධිකරණ සේවාවක් ලබාගැනීමට පෑදුණු නව මාවතක් වනු නොඅනුමානය.
















