ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පසුගිය මැයි දින රැලියකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සිදු කළ ප්‍රකාශයකට අදාළව ඒ මහතා අදාල කොමිසම හමුවේ පෙනී සිටිමින් දිවුරුම් ප්‍රකාශයක් මගින් සිය කණගාටුව පළ කර තිබේ.
ගල් අඟුරු ගනුදෙනු පිළිබඳව විමර්ශනය කරන මෙම කොමිසම සම්බන්ධයෙන් මීට පෙර අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා පවසා තිබුණේ, කොමිසම හරහා තම පාර්ශවයේ පිරිස් නිවැරදි වනු ඇති බවත් විපක්ෂයේ පිරිස් වරදකරුවන් වනු ඇති බවත්ය. එම ප්‍රකාශය පදනම් කර ගනිමින් ඔහුව කොමිසම වෙත කැඳවා තිබුණි.
මේ අතර ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණිලි භාර ගැනීම පසුගිය 22 වන දින අවසන් වී ඇති අතර, ඒ වන විට කොමිසමට පැමිණිලි 28ක් ලැබී ඇත. අදාළ පැමිණිලි සලකා බැලීමේ කටයුතු පසුගිය සතියේ සිට ආරම්භ කර ඇති අතර, ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ මහජන අදහස් විමසීමේ කටයුතු ජූලි මාසයේ පළමු සතියේ සිට ආරම්භ කිරීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වේ.
















