ආගමික සහජීවනය සහ ප්‍රජා සහයෝගීතාව මනාව පිළිබිඹු කරමින් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරන ලද වෙසක් උත්සවයක් ඉතා සාර්ථක අන්දමින් පවත්වා තිබේ. ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති අනුර විතානගේ මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
දවස පුරා පැවැත්වුණු මෙම වැඩසටහනට ආගමික වතාවත් සහ ධර්ම සාකච්ඡා ඇතුළත් වූ අතර, එහිදී පැවැත්වුණු වෙසක් දන්සල මඟින් පැමිණ සිටි සැමට දිවා ආහාරය සහ කෙටි ආහාර ලබාදීමට කටයුතු කර තිබුණි. මෙම උත්සවයේ කැපී පෙනෙන මානුෂීය අංගය වූයේ මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ අවතැන් වී සිටින පුද්ගලයන් 200කට අධික පිරිසක් සඳහා ද මෙහිදී විශේෂයෙන් ආහාරපාන සපයමින් සංවිධායක මණ්ඩලය විසින් සිදුකරන ලද සත්කාරයයි.
මෙම බෞද්ධ ආගමික වැඩසටහන පවත්වා ඇත්තේ වසර දහයකට වැඩි කාලයක සිට ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව වෙත සිය පහසුකම් නොමිලේ සපයනු ලබන ලෙබනනයේ ක්‍රිස්තියානි දේවස්ථාන පරිශ්‍රයකදී වීම විශේෂත්වයකි. විදේශ රටක වුවද ශ්‍රී ලාංකික අනන්‍යතාව සහ ආගමික උරුමය රැකගැනීමටත්, විවිධ ආගම් අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය සහ සහජීවනය ලෝකයටම පෙන්වීමටත් මෙමඟින් හැකිවූ බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
















