දිට්වා ආපදාව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ කොට්ටුකච්චිය ගොවි ව්‍යාපාරයට අයත් කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 200ක් වන අතර, මෙම අවස්ථාව සඳහා අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් යන මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ. රටේ කෘෂිකර්මාන්තය මුහුණ දී ඇති අභියෝග රැසක් පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ගොවි ජනතාවගේ නිෂ්පාදන සඳහා සාධාරණ වෙළඳපොළ මිලක් සහ ආර්ථික ප්‍රතිලාභයක් ලබා දීම වත්මන් රජයේ ප්‍රමුඛ වගකීමක් බව අවධාරණය කළේය.
ගොවි ජනතාවගේ දුප්පත්කම නැති කිරීම රජයේ ප්‍රධාන කාර්යභාරයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ආගමික නායකයන් මිනිසුන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සරු කරන විට රජයේ මූලික වගකීම වන්නේ ලෞකික ජීවිතය ගොඩනැඟීම බව සඳහන් කළේය. වී අස්වැන්න සඳහා නිසි මිලක් ලබාදීමේ ක්‍රමවේදයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් රජයේ භාණ්ඩාගාරය හරහා සම්බන්ධ කරගනිමින් එක් අයෙකුට රුපියල් කෝටි දෙකහමාරක පොළී රහිත ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බවත්, ගොවීන් එකම වගාවකට පමණක් සීමා නොවී පශු සම්පත් ක්ෂේත්‍රය වෙතද යොමු වෙමින් ආදායම් මාර්ග විවිධාංගීකරණය කරගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එපමණක් නොව, බඩඉරිඟු ආනයනය කිරීම නතර කර ඒ වෙනුවෙන් සහල් යොදාගනිමින් සහල්වලින් වෙනත් නිෂ්පාදන සිදු කිරීම මඟින් වී ගොවියාගේ ආර්ථිකය සරු කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සහ නව ප්‍රතිපත්තිමය තීන්දු හරහා ඉදිරියේදී ගොවි ජනතාව මුහුණ දෙන මූලික ගැටළුවලට තිරසර විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුකූලව වගා කටයුතු සිදු කිරීමේ වැදගත්කම මෙන්ම පොහොර සහනාධාර සහ වාරිමාර්ග පහසුකම් ලබාදෙමින් ගොවියා ශක්තිමත් කිරීමට රජය බැඳී සිටින බව අමාත්‍යවරයා තහවුරු කිරීම තුළින්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රබෝධයක් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ක්‍රමානුකූලව සකස් වන බව මනාව පැහැදිලි වේ.














