ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය නවීකරණය කිරීමේ පියවරක් ලෙස, ‘ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්’ පෞද්ගලික සමාගමේ කළමනාකාරීත්වය යටතේ ඉදිකරන ලද මෙරට දෙවන මෙට්‍රෝ බස් ඩිපෝව (Metro Bus Depot) අද (07) කඩවතදී සිය මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන්නේ බස්නාහිර පළාත තුළ මෙට්‍රෝ බස් රථ සේවාව පුළුල් කිරීමේ පුළුල් සැලැස්මේ ප්‍රධාන පියවරක් ලෙස මෙම ඩිපෝ සංකීර්ණය විවෘත කළ බවයි.
මෙම වැඩපිළිවෙලට සමගාමීව රත්මලාන ප්‍රදේශයේ නව ධාවන පංගු (Running Yards) ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, තලංගම සහ හෝමාගම ප්‍රදේශයන්හි මධ්‍යම වැඩපොළවල් (Central Workstations) පිහිටුවීමට ද නියමිතව තිබේ. මෙම නව ඩිපෝ පද්ධතිය හරහා මෙට්‍රෝ බස් රථ මෙහෙයුම් වඩාත් විධිමත් හා කාර්‌යක්ෂම කිරීමට අපේක්ෂිත අතර, පසුගිය මාස කිහිපය තුළ පමණක් මෙට්‍රෝ බස් රථ 104ක් අලුතින් ධාවනයට එක්කර ඇත.
කඩවත දෙවන මෙට්‍රෝ ඩිපෝව ආරම්භ වීමත් සමග කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දෛනිකව ගමන් ගන්නා මගී ජනතාවට වඩාත් වේගවත්, සුරක්ෂිත සහ පහසු ප්‍රවාහන සේවාවක් අත්විඳීමට අවස්ථාව හිමිවන අතර, ඉදිරියේදී දිවයින පුරා මෙම නවීන බස් රථ සේවාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට රජය සැලසුම් කර ඇත.















