ඊසානදිග මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමග දිවයින පුරා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම පාලනය කිරීම සඳහා සැප්තැම්බර් 14 සිට 19 දක්වා දින පහක් පුරා ක්‍රියාත්මක වන විශේෂ ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කරන බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 62ක් ආවරණය වන පරිදි සංවිධානය කර ඇති මෙම වැඩසටහන උතුර, නැගෙනහිර, උතුරු මැද, බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ ඌව යන පළාත්වල දැඩි අවදානම් සහිත ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව 2026 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 96,482ක් වාර්තා වී ඇති අතර, මරණ 73ක් සිදුව තිබේ. සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් අඩකටත් වඩා, එනම් රෝගීන් 50,395ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, ගම්පහ (20,527) සහ කොළඹ (19,074) වැඩිම අවදානමක් සහිත දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇත. ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,740ක්, මධ්‍යම පළාතෙන් 8,093ක් සහ සබරගමුවෙන් 5,590ක් වශයෙන් වාර්තා වේ.
වසරේ මුල් භාගයට සාපේක්ෂව ජූනි (21,533) සහ ජූලි (29,964) මාසවලදී රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාමක් නිරීක්ෂණය වූ බැවින්, ඉදිරි වර්ෂාපතන තත්ත්වය හමුවේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට මහජනතාවගේ සහ සහායක කණ්ඩායම්වල සක්‍රිය දායකත්වය සෞඛ්‍ය අංශ විසින් අපේක්ෂා කරනු ලබයි.


















