කඩුගන්නාව ජාතික දුම්රිය කෞතුකාගාරයේ එළිමහනේ තැන්පත් කර තිබීම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ අව්වට සහ වැස්සට හසුව දිරාපත් වෙමින් පවතින ඉපැරණි දුම්රිය එන්ජින් සහ මැදිරි කිහිපයක් ප්‍රතිසංස්කරණය සඳහා කොළඹට රැගෙන ඒමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙරට දුම්රිය ඉතිහාසයට සාක්ෂි දරන මෙම සුවිශේෂී උරුමයන් විනාශ වී යාම වැළැක්වීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණයි.
මෙම වටිනා එන්ජින් ප්‍රවාහනය කිරීමේ මූලික පියවරක් ලෙස දුම්රිය ඉංජිනේරුවන් කණ්ඩායමක් කඩුගන්නාව පරිශ්‍රයේදී මූලික පරීක්ෂණ කටයුතු සිදු කර ඇති අතර, ඒවා කොළඹ රත්මලාන දුම්රිය වැඩපොළ වෙත රැගෙන ගොස් විධිමත් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. මෙලෙස ප්‍රතිසංස්කරණය කෙරෙන එන්ජින් අතර මෙරට භාවිත කළ පැරණිතම වාෂ්ප එන්ජින් සහ ඩීසල් එන්ජින් කිහිපයක් ද වන බව වාර්තා වේ.
දුම්රිය ලෝලීන් සහ උරුමයන් සුරැකීමේ ක්‍රියාකාරීන් දීර්ඝ කාලයක් තිස්සේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මෙම ඓතිහාසික වස්තූන් විනාශ වීමට ඉඩ නොදී සංරක්ෂණය කරන ලෙසයි. ඒ අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමෙන් පසු ඒවා වඩාත් ආරක්ෂිත ස්ථානයක ප්‍රදර්ශනය කිරීමට හෝ සංචාරක ආකර්ෂණය දිනාගත හැකි අයුරින් යොදා ගැනීමට සැලසුම් කර ඇත.














