නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළි කහ, විදේශීය දුම්වැටි, කෘමිනාශක සහ රූපලාවණ්‍ය ආලේපන ඇතුළු විශාල භාණ්ඩ තොගයක් නාවික හමුදාව විසින් කල්පිටිය, තලවිල වෙරළ තීරයේදී සිය භාරයට ගෙන තිබේ. පසුගිය 17 වැනිදා නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වෙරළේ තිබූ සැකකටයුතු උර 28ක් පරීක්ෂා කිරීමේදී මෙම ජාවාරම අනාවරණය වී ඇත.
එහිදී සොයාගත් භාණ්ඩ අතර වියළි කහ කිලෝග්‍රෑම් 496ක පමණ තොගයක්, විදේශීය දුම්වැටි පැකැට්ටු 6,000ක්, රූපලාවණ්‍ය ආලේපන සහිත ඇසුරුම් 1,958ක් මෙන්ම කෘමිනාශක දියර සහිත බෝතල් 1,146ක් සහ පැකට් 15,180ක් අඩංගු වී තිබුණි.
මුහුදු මාර්ගයෙන් රහසිගතව මෙරටට ගෙනැවිත් තිබූ මෙම නීතිවිරෝධී භාණ්ඩ තොගය ඉදිරි විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.












