මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සලකුණු තැබූ මහා ක්‍රිකට් තරග ද්විත්වයක් වන කළුතර “මැංගුස් හටන” සහ කොළඹ “රන් මහා සටන” අද (08) උදෑසන ආරම්භ විය. කළුතර විද්‍යාලය සහ තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන 66 වන “මැංගුස් හටන” මෙවර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එය මෙරට 13 වැනි පැරණිතම මහා ක්‍රිකට් තරගය ලෙස වාර්තා වේ. 1949 වසරේ ආරම්භ වූ මෙම තරග ඉතිහාසයේ කළුතර විද්‍යාලය ජයග්‍රහණ 23ක් ලබා ඉදිරියෙන් පසුවන අතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණ 06ක් ලබාගෙන ඇත. මෙවර කළුතර විද්‍යාලය ශීර්ෂ තාරක ලියනගේ විසින් මෙහෙයවන අතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය මලිදු දිල්ෂාන්ගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙයි.
මේ අතර කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන 20 වන “රන් මහා සටන” තෙදින තරගයක් ලෙස කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද ආරම්භ විය. දෙවිදුහල්පතිවරුන්ගේ පූර්ණ ආශිර්වාදය හා මනා පුහුණුවක් සහිතව කණ්ඩායම් දෙකම ජයග්‍රාහී මානසිකත්වයෙන් ක්‍රීඩා කරන අතර, මෙම මහා තරගයට සමගාමීව පැවැත්වෙන එක්දින තරගය මැයි 17 වනදා දිවා රාත්‍රී තරගයක් ලෙසත්, විස්සයි විස්ස තරගය මැයි 22 වනදාත් පැවැත්වීමට නියමිතව තිබේ. ජාතික මට්ටමේ සුපිරි ක්‍රීඩකයන් රැසක් බිහි කළ මෙම පාසල් ක්‍රිකට් සංග්‍රාමයන් දෙකම මෙවරත් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් මැද පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














