ඉන්දියාවේ සිට ආනයනය කරන ලද ජිප්සම් ප්ලාස්ටර් තොගයක් තුළ සඟවා මෙරටට ජාවාරම් කිරීමට තැත් කළ රුපියල් ලක්ෂ ගණනක් වටිනා කහ තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ. ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්ය සාධක බලකායේ (RTF) නිලධාරීන් විසින් ඊයේ (29) මෙම වැටලීම සිදු කරන ලදී.
දේශීය වෙළඳපොළට නීති විරෝධී ලෙස භාණ්ඩ ඇතුළුවීම වැළැක්වීම සඳහා රේගු ආදායම් කාර්ය සාධක බලකායේ (මෙහෙයුම් ඒකකය) නිලධාරීන් සිදු කළ විශේෂ පරීක්ෂාවකදී මෙම ජාවාරම අනාවරණය වී ඇත. ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන ලද ජිප්සම් ප්ලාස්ටර් (Gypsum Plaster) අඩංගු ඇසුරුම් තුළ මෙම කහ තොගය සූක්ෂම ලෙස සඟවා තිබී ඇත. එහි තිබී කහ කුඩු කිලෝග්‍රෑම් 2,580ක් සහ වියළි කහ ඇඟිලි කිලෝග්‍රෑම් 3,950ක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත් විය. අත්අඩංගුවට ගත් මුළු කහ ප්‍රමාණය කිලෝග්‍රෑම් 6,530ක් හෙවත් ටොන් 6.5කට අධික වේ.














