පසුගිය මැයි මස 28 වනදා කළුතර දකුණ, වෙට්ටුටකය පල්ලිය පාර ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැලිපැන්න පොලිස් වසමේ වලගෙදර ප්‍රදේශයේදී ඊයේ (07) අත්අඩංගුවට ගත් මෙම සැකකරු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් විමර්ශනවලට අනුව, මෙම සැකකරු අපරාධය සඳහා ආධාර අනුබල ලබා දී ඇති බව අනාවරණය වී ඇත. මීට අදාළව ප්‍රධාන වෙඩික්කරු ලෙස සැලකෙන පයාගල, මැහිමුල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි සම්පත් කුමාරතුංග නොහොත් ‘බෝංචියා’ යන අනුවර්ත නාමයෙන් හැඳින්වෙන පුද්ගලයාද පසුගිය ජුනි මස 02 වනදා පොලිස් අත්අඩංගුවට පත්විය.
කළුතර දිසා අපරාධ කොට්ඨාසය මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, වෙඩි තැබීමට සම්බන්ධ සෙසු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
















