පසුගිය වෙසක් උත්සවය වෙනුවෙන් කළුතර නගරයේ ඉදිවූ මෙරට විශාලතම තොරණ සඳහා භාවිත කළ රුපියල් ලක්ෂ තුනහමාරකට අධික වටිනාකමකින් යුත් විදුලි රැහැන් (වයර්) සොරකම් කළ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පානදුර දකුණ මූලස්ථාන පොලිසියට භාර දී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පානදුර, මෝදරවිල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
කළුතර තොරණේ විදුලි ශිල්ප කටයුතු සිදුකළ පානදුර ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල් ආයතනයේ හිමිකරු විසින් තොරණ ප්‍රදර්ශනය අවසන් කිරීමෙන් පසු එම විදුලි රැහැන් සිය පානදුර පිහිටි නිවසේ ගබඩා කර තිබී ඇත. දින 4ක් පුරා ඉතා සූක්ෂම ලෙස මෙම රැහැන් සොරකම් කර ඇති බව නිවසේ තිබූ ආරක්ෂක කැමරා දර්ශනවලින් අනාවරණය වී තිබේ.
ඒ අනුව, 5 වන දින සැකකරු නැවතත් එම ස්ථානයට පැමිණෙන තෙක් රැකවල් ලා සිටි ප්‍රදේශවාසීන් ඔහුව වටලා අල්ලා ගැනීමෙන් පසු පොලිසියට භාර දී ඇත.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
















