අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී (බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට) එරෙහිව නොදැවී ලකුණු 145ක් රැස් කරමින්, ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු විස්සයි20 ක්‍රිකට් පිටියේ වාර්තා කළ ඉහළම ඉනිමට හිමිකම් කීමට 25 හැවිරිදි කමිල් මිෂාර සමත් විය. කෝල්ට්ස් පිටියේදී පැවැති මෙම තරගයේදී පන්දු 72කට පමණක් මුහුණ දුන් කමිල්, හතරේ පහර 11ක් සහ හයේ පහර 11ක් එල්ල කරමින් 201.38ක ප්‍රහාරාත්මක වේගයක් සටහන් කළේය.
මෙම ප්‍රබල ඉනිමත් සමඟ, ලංකා ප්‍රීමියර් ලීග් (LPL) තරගාවලියේදී ළහිරු උදාර (නොදැවී 132) සතුව තිබූ ශ්‍රී ලංකාවේ හොඳම විස්සයි20 ඉනිමේ වාර්තාව මෙන්ම, දේශීය අන්තර් සමාජ පිටියේ දසුන් ශානක (නොදැවී 131) තබා තිබූ වාර්තාව ද බිඳ වැටිණි. එමෙන්ම, 2016 වසරේදී ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල් ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී ලකුණු 145ක් ලබා ගනිමින් තබා තිබූ, ශ්‍රී ලංකාවේදී වාර්තා වූ ඉහළම විස්සයි20 ඉනිමේ වාර්තාව සම කිරීමට ද කමිල් මිෂාරට හැකි විය.
කමිල් මිෂාරගේ මෙම වාර්තාගත ඉනිම සහ නායක චාමික කරුණාරත්න ඕවර 20 අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 225ක් රැස් කිරීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බ්ලූම්ෆීල්ඩ් පිල ඕවර 11කදී කඩුලු 7කට ලකුණු 92ක් ලබා සිටියදී වර්ෂාවෙන් බාධා වීම නිසා, ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 46ක ජයක් එන්සීසී පිලට හිමි විය.













