ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. මෙවර පෙරහැර මංගල්‍යය 2026.08.18 දින සිට 2026.08.28 දින දක්වා වීථි සංචාරය කිරීමට නියමිතය. ඒ අනුව 2026.08.18 දින සිට 2026.08.22 දින දක්වා කුඹල් පෙරහැරද, 2026.08.23 දින සිට 2026.08.27 දින දක්වා රන්දෝලි පෙරහැරද වීථි සංචාරය කරන අතර, 2026.08.28 දින දවල් පෙරහැරින් පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.
පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් 6200ක්, විශේෂ කාර්ය බලකා නිලධාරීන් 564ක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1200ක් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් 29ක් ඇතුළු ආරක්ෂක අංශ පිරිසක් යොදවා ඇත. නගරයට පිවිසෙන ස්ථාන 14ක මාර්ග බාධක යොදන අතර, මහජනතාවගේ පහසුව සඳහා සැහැල්ලු වාහන රථ ගාල් 06ක් සහ බරවාහන රථ ගාල් 07ක් ඇතුළුව රථ ගාල් 13ක් සූදානම් කර තිබේ. තවද, පෙරහැර කාලසීමාව තුළ මහනුවර නගරය මඟහැර රථවාහන ගමන් කිරීම සඳහා රියදුරන් හට විකල්ප මාර්ග ද හඳුන්වා දී ඇත.














