යාල ජාතික උද්‍යානයේ 6 වන කලාපයේ (ලුණුගම්වෙහෙර උද්‍යානය) රාත්‍රී මුර සංචාරයේ යෙදුණු වනජීවී නිලධාරීන්ට පසුගිය 10 වන දින දඩයක්කරුවන් පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. රත්මල්වැව ප්‍රදේශයේදී සැකකටයුතු ආලෝකයක් නිරීක්ෂණය කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, නිලධාරීන් ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත. සිද්ධියෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙඩි වැදුණු තවත් සැකකරුවෙකු රෝහල්ගත කර තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී මරාදැමූ තිත් මුවන් දෙදෙනෙකු, ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.














