මහනුවර නගරයේ සංචාරක ආකර්ෂණය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සතියකට වරක් පැවැත්වීමට සැලසුම් කළ රාත්‍රී වෙළඳ සැණකෙළියක් පසුගිය සෙනසුරාදා (3) ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන මධ්‍යම පළාත් සභාව, ආණ්ඩුකාර කාර්යාලය, මහනුවර මහ නගර සභාව සහ අදාළ පළාත් ආයතන එක්ව සංවිධානය කර ඇති බව සඳහන් වේ.
සවස 6.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේදී උඩරට වෙස් නැටුම්, අංගම්පොර සටන් සංදර්ශන, දේශීය බෙර වාදන ඇතුළු සංස්කෘතික අංග රැසක් ඉදිරිපත් කර තිබේ. දේශීය ආහාර, මධ්‍යම පළාතට ආවේණික රෙදිපිළි සහ දේශීය හස්ත කර්මාන්ත නිෂ්පාදන අලෙවි කුටිද එහි ස්ථාපිත කර ඇති බව වාර්තා වේ.
මෙම රාත්‍රී වෙළඳ සැණකෙළිය නැරඹීම සඳහා විදෙස් සංචාරකයන් ඇතුළු විශාල පිරිසක් මහනුවර නගරයට පැමිණ ඇති බව සඳහන් වේ. වැඩසටහනේ ප්‍රධාන අරමුණක් ලෙස මහනුවර නගරයේ සංචාරක ආකර්ෂණය සහ දේශීය ව්‍යාපාරික අවස්ථා වැඩිදියුණු කිරීම දක්වා තිබේ.













