මහනුවර ජාතික රෝහලේ දැනට ඉදිකිරීම් වෙමින් පවතින සිව්මහල් ගොඩනැගිලි ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීමට සහ එය නිම කිරීමේ කාලසීමාව දීර්ඝ කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය පැවති 2021 වසරේදී සාර්ක් (SAARC) සංවර්ධන අරමුදලේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මුලින් සැලසුම් කර තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, විශේෂිත හුදෙකලා කාමර (Negative-pressure isolation rooms) 50කින් යුත් පෙරසවි (Pre-fabricated) සිව්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමටය.
කෙසේ වෙතත්, පසුව මෙම ව්‍යාපෘතියේ විෂය පථය සංශෝධනය කිරීමට පියවර ගැනිණි. ඒ අනුව, හුදෙකලා කාමර සංඛ්‍යාව 50 සිට 23 දක්වා අඩු කර, ඇඳන් 25කින් යුත් පිරිමි වාට්ටුවක් සහ ඇඳන් 20කින් යුත් කාන්තා වාට්ටුවක් ඊට ඇතුළත් කර ඇත. මෙමඟින් ගොඩනැගිල්ලේ සමස්ත ඇඳන් ධාරිතාව 50 සිට 68 දක්වා ඉහළ නංවා තිබේ.
මෙම වෙනස්කම් ද සමඟින් ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය රුපියල් මිලියන 1,094.22ක් දක්වා සංශෝධනය කිරීමටත්, ඉදිකිරීම් නිම කිරීමේ කාලසීමාව 2027 දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිවිය. මේ වන විට රුපියල් මිලියන 282.24ක් වටිනා ඉදිකිරීම් කටයුතු නිම කර ඇති බව ද වාර්තා වේ.















