මහනුවර නගරයේ පදිකයින්ගේ ආරක්ෂාව සහ රථවාහන තදබදය අවම කිරීම සඳහා ඉදිකර ඇති පදික උමං මාර්ග භාවිත නොකර, මාර්ග හරහා අනවසරයෙන් ගමන් කරන පදිකයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව මහනුවර පොලිසිය පවසයි.
මෙම පහසුකම් සඳහා විශාල මුදලක් වැය කර තිබියදීත්, සමහර පදිකයින් ඒවා නොසලකා මාර්ග හරහා අනාරක්ෂිත ලෙස ගමන් කිරීම රිය අනතුරු සහ රථවාහන තදබදය ඉහළ යාමට හේතු වී ඇති බව බලධාරීහු පෙන්වා දෙති. පදික මාර්ග රෙගුලාසි උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට එරෙහිව, තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. මේ සඳහා පදික මාරු සහ උමං මාර්ග අසල විශේෂ පොලිස් ඒකක යෙදවීමට නියමිත අතර, වරදකරුවන්ට දඩ නියම කිරීම සහ නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ඇත.
මේ අතර, ඊයේ (15) පස්වරු 2.00ට පමණ කටුගස්තොට, කලුගල ප්‍රදේශයේදී මහනුවර-යාපනය ඒ-9 මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් අවම වශයෙන් 17 දෙනෙකු තුවාල ලබා ඇත. පෞද්ගලික බස් රථයක් සහ පාසල් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
අනතුරින් වෑන් රථයේ රියදුරු ද තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූ සියලුම දෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. පෞද්ගලික බස් රථය මහනුවර දෙසට ගමන් කරමින් තිබියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පාසල් වෑන් රථය හා ගැටී තිබේ. තුවාල ලැබූවන් මුලින්ම කටුගස්තොට දිසා රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට මාරු කර යවා ඇත.
















