රැඳවුම් භාරයේ පසුවන හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විවිධ වධ හිංසාවන්ට ලක්ව ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ, අදාළ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් අද දිනයේදීත් ප්‍රශ්න කර කරුණු විමසන බවයි.
සුරේෂ් සලේ මහතා රඳවා සිටින සිරමැදිරිය තුළ ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොමැති වීම ඇතුළු මූලික මානව හිමිකම් උල්ලංඝනය වන අයුරින් ඔහුට සලකන බවට මතු වී ඇති චෝදනා සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ. සිරමැදිරිය තුළ ඔහුට සිදුකරන බව කියන වධ හිංසා පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා කොමිෂන් සභාවේ නියෝජිතයින් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුර වාර්තාවක් ද ඔවුන් විසින් සකස් කරමින් පවතී.
රැඳවියන්ගේ මූලික අයිතිවාසිකම් සහ ඔවුන්ට සලකන ආකාරය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක වීමේ වැදගත්කම අවධාරණය කරන මානව හිමිකම් කොමිෂන් සභාව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ සහ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බව සහතික කරයි.
















