සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් කතරගම සහ දෙවිනුවර දේවාලයන්හි බස්නායක නිලමේ තිළිණ මධුසංඛ වෙත සිදුකළ බව කියන තර්ජනාත්මක හඬපටය වට්ස්ඇප් ඔස්සේ යොමු කර ඇත්තේ මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් ‘රත්මලානේ කුඩු සයිමා’ නැමැත්තා බව අනාවරණ වී තිබේ.
පසුගියදා මැලේසියානු පොලිසිය සහ මෙරට පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් මොහු ලබන සතියේ මෙරටට රැගෙන ඒමට නියමිත අතර, පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු තවත් තොරතුරු රැසක් අනාවරණ කර ඇත. අදාළ හඬපටය කංජිපානි ඉම්රාන්ට අමතරව තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘උණාකූරූවේ ශාන්ත’ සමඟ එක්ව සැලසුම් කර නිලමේවරයාට යැවූ බව ඔහු පාපොච්චාරණය කර තිබේ. කංජිපානි ඉම්රාන් විවිධ අවස්ථාවවල නිකුත් කළ සියලු තර්ජනාත්මක හඬපට ඔහුගේ උපදෙස් මත අදාළ පාර්ශ්වයන්ට වට්ස්ඇප් ඔස්සේ යැවීමට කටයුතු කළේ තමන් බවද මොහු සඳහන් කර ඇත. කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔහු පළාගොස් ඇති අතර, පොලිසියට අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ කුඩු සයිමා ඇතුළු තිදෙනෙකු පමණි. මීට වසරකට පමණ පෙර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී අත්අඩංගුවට යාමේදී ඔහු බේරා ගැනීමට කුඩු සයිමා කටයුතු කර ඇති බවත්, මත්කුඩු ජාවාරම්කරු වන ‘කුඩු අංජු’ සමඟ මතභේද ඇතිවීමෙන් පසු ‘කුඩු අක්කා’ සමඟ එක්ව මහනුවර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ.














