ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (14) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේදී කැඳවනු ලැබීය. මෙම මරණය සිදුවූ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ කිසිදු දර්ශනයක් පටිගත වී නොමැති බව මෙහිදී අනාවරණය විය.
අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ කැමරා පද්ධතිය සක්‍රිය මට්ටමක පැවතියද, එහි දර්ශන පටිගත කිරීමේ සහ ගබඩා කිරීමේ ක්‍රියාවලිය දීර්ඝ කාලයක සිට අක්‍රිය වී තිබී ඇත. මේ හේතුවෙන් මරණය සිදු වූ අවස්ථාවේ දර්ශන කිසිවක් එම පද්ධතියට හසු වී නොමැති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. මීට අමතරව මැයි 12 වන දින මියගිය කපිල චන්ද්‍රසේන මහතාට අයත් වෙනත් නිවසක් පරීක්ෂා කිරීමේදී හමු වූ ලැප්ටොප් පරිගණකයක් සහ ලේඛන කිහිපයක් ද නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අදාළ නිවසේ දර්ශන නොමැති වීම නිසා විමර්ශන නිලධාරීන් විසින් එම නිවසට ඇතුළු වන සහ පිටවන මාර්ග ආවරණය වන පරිදි අසල පිහිටි අනෙකුත් නිවාසවල සවිකර ඇති සීසීටීවී දර්ශන මේ වන විට පොලිස් භාරයට ගෙන පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.














