මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) කොන්ත්‍රාත්කරුවන් ඇතුළු පිරිසකට සිදුව ඇති ද්විත්ව ගෙවීම් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති අතර එම මුදල් නැවත අය කර ගැනීම සඳහා බැංකු පද්ධතිය හරහා විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් ගොනුව සම්ප්‍රේෂණය කිරීමේදී සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු ගනුදෙනුකරුවන් පිරිසකගේ ගිණුම් වෙත එකම ගෙවීම දෙවරක් බැර වී ඇත.
බැංකු පද්ධතිය තුළ මෙවැනි වැරදි ගෙවීම් යළි අය කර ගැනීම සඳහා ස්ථාවර යාන්ත්‍රණයක් පවතින බවත් බැංකුව විසින් ඒ සඳහා අවශ්‍ය සාමාන්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සිදුවීම හේතුවෙන් රජයේ ගිණුම්වලට හෝ කිසිදු පුද්ගලික ගිණුමකට මූල්‍යමය පාඩුවක් සිදු නොවන බවට ඔහු සහතික විය.
ලංකා බැංකුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මෙම තත්ත්වය නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්බන්ධීකරණය කරමින් සිටින බවද මෙහිදී අනාවරණය විය.














