වසර 14ක් පුරා අක්‍රියව පැවති කටුබැද්ද දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය යළි සක්‍රීය කරමින් ආරම්භ කළ දැව තාක්ෂණ (ගෘහ භාණ්ඩ) NVQ Level 4 පාඨමාලාවේ ප්‍රථම කණ්ඩායම සඳහා සහතිකපත් ප්‍රදානය සහ රැකියා පත්වීම් ලබාදීම පසුගියදා (16) තලවතුගොඩ ජෙට් හෝල්ඩින්ග්ස් ආයතන ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි. කර්‌මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්‌ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී අදාළ වෘත්තීය පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසුන් 21 දෙනෙකු සඳහා සහතිකපත් සමඟ සෘජු රැකියා පත්වීම් පිරිනැමීමට පියවර ගැනුණි.
උත්සව සභාව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ කෘතිම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණයන් ලෝකය වේගයෙන් වෙනස් කළ ද මිනිස් කුසලතාව සහ නිර්මාණශීලීත්වය අභිබවා යෑමට එයට අසීරු බැවින්, දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින කුසලතා පූර්‌ණ ශ්‍රම බලකායක් බිහිකිරීම රජයේ ප්‍රමුඛතාවක් බවය. ජාතික ශිල්ප සභාව, කර්‌මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්‌ධන අමාත්‍යාංශය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පැවසූ ඒ මහතා, රජය වෙළඳපොළෙන් සම්පූර්‌ණයෙන්ම ඉවත් විය යුතු යැයි කියන ආර්‌ථික මතිමතාන්තර වෙනස් කරමින් පුහුණුව, කර්‌මාන්තය සහ රැකියා වෙළඳපොළ අතර සෘජු සම්බන්ධතාවක් වත්මන් රජය විසින් ගොඩනඟා ඇති බව ද අවධාරණය කළේය.
අතීතයේ ක්‍රියාත්මක වූ වෘත්තීය පුහුණු වැඩසටහන් අකර්‌මණ්‍ය වීමට ප්‍රධාන හේතුව ඒවා වෙළඳපොළේ සැබෑ අවශ්‍යතා සමඟ බද්ධ නොවීම බව පෙන්වා දෙන ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෝ, පෞද්ගලික අංශයේ දායකත්වයෙන් පැරණි තාක්ෂණික ආයතන යළි පණගැන්වීම දේශීය නිෂ්පාදන ආර්‌ථිකය ශක්තිමත් කිරීමට ඉවහල් වන බව පවසති. මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ යටතේ 9 වැනි ශ්‍රේණියේ සිටම සිසුන්ට තමන්ගේ දක්ෂතා සහ කැමැත්ත අනුව කුසලතාමය වෘත්තීය මාර්‌ග තෝරාගැනීමට අවස්ථාව සැලසීම, දේශීය වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනයට මෙන්ම තාරුණ්‍යයේ රැකියා නියුක්තිය ඉහළ නැංවීමට හේතුවන බව ආර්‌ථික හා සමාජීය නිරීක්ෂකයින්ගේ පොදු මතය වී තිබේ.
















