සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සංචාරක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් දෙරටටම පොදු ඒකාබද්ධ සංචාරක පැකේජයක් හඳුන්වා දීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙම වැඩපිළිවෙල පිළිබඳ වැදගත් තොරතුරු පහත දැක්වේ.
දෙරට අතර පවතින දිගුකාලීන ආගමික සහ සංස්කෘතික සබඳතා පදනම් කර ගනිමින් ආගමික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙන්ම සංස්කෘතික, සුවතා සහ වික්‍රමාන්විත සංචාරක ක්ෂේත්‍ර දියුණු කිරීම මෙහි මූලික අරමුණයි.
වියට්නාමයේ ප්‍රමුඛතම ගුවන් සේවය වන වියට්ජෙට් එයාර් විසින් කොළඹ සහ හො චි මිං නගරය අතර සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කර තිබේ. මෙම සේවාව අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල සතියකට තුන් වතාවක් ක්‍රියාත්මක වේ.
හො චි මිං නගරය වියට්ජෙට් එයාර්හි ප්‍රධාන ගුවන් මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරන බැවින්, මෙම නව ගුවන් මාර්ගය හරහා ශ්‍රී ලාංකික සංචාරකයින්ට වියට්නාමයේ අනෙකුත් නගරවලට මෙන්ම නැගෙනහිර ආසියාව, අග්නිදිග ආසියාව සහ ඕස්ට්‍රේලියාව වැනි කලාප වෙත පහසුවෙන් ගමන් කිරීමට අවස්ථාව උදාවේ.
මීට සමගාමීව, වියට්නාම සහ අනෙකුත් නැගෙනහිර ආසියානු රටවල බෞද්ධ බැතිමතුන් ආකර්ෂණය කර ගැනීම සඳහා බුද්ධ වන්දනා නමින් විශේෂ බෞද්ධ සංචාරක පැකේජයක් ද හඳුන්වා දෙන ලදී. මෙම සංචාරක ව්‍යාපෘතිය පසුගිය වසරේදී දෙරටේ නායකයින් අතර පැවැති සාකච්ඡාවල සාර්ථක ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාත්මක වේ.














